සතුට සැනසුම පිරි යුගදිවියකට නොවරදින මඟ.

සතුට සැනසුම පිරි යුගදිවියකට නොවරදින මඟ.

Wednesday, May 20, 2020

චන්ද්‍රග්‍රහණයෙන් දින කීපයකට පසු
සූර්යග්‍රහණයක්
ආගමික නායකයින්ට අපලයි.
රෝග පැතිරෙයි.
සෞක්‍ය ක්‍ෂේත්‍රයේ ගැටළු.
පොළව වියලෙයි.

2018 අගෝස්තු මස 11 වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 03. 17 ට අර්ධ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිතය. සූර්යග්‍රහණය සිදුවන්නේ සඳුට අයත් කටක රාශියේ ය. ඒ වන විට ගුරු හිමි ධනු ලග්නයත් අස්ලිස නැකතේ තෙවැනි පාදයත් උදා වී පවතියි.
මීට පෙර ජූලි මාසයේ 13 වෙනිදා අර්ධ සූර්යග්‍රහණයක් සිදුවුණු අතර එම මාසයේම 28 වෙනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවිය. ඉන් දින කීපයකට පසු සිදුවන මෙම අර්ධ සූර්යග්‍රහණය ජ්‍යොතිෂයට අනුව ඉතාමත් වැදගත් සිදුවීමකි.
සූර්යග්‍රහණයක් යනු හිරු චන්ද්‍රයාගෙන් ආවරණය වීමයි. හිරු චන්ද්‍රයාගෙන් පූර්ණ වශයෙන් ආවරණය වීම පූර්ණ සූර්යග්‍රහණයක් ලෙසත්, අර්ධ වශයෙන් ආවරණය වීම අර්ධ සූර්යග්‍රහණයක් ලෙසත් හැඳින්වේ. සූර්යග්‍රහණ සිදුවන්නේ අමාවක දිනවලදී ය. අගෝස්තු 11වෙනිදාද අමාවක දිනයකි.
වසරේ අවසන් ග්‍රහණය වන මෙම අර්ධ සූර්යග්‍රණය හේතුවෙන් නොවැම්බර් මස මැද භාගය තෙක් කාලය තුළ භූමි කම්පා, මුහුදු අනතුරු, සුළි සුළං ආදී විපත් පිලිබඳව ලෝකයේ නොයෙක් දෙසින් වාර්තා වනු ඇත.
කුම්භ ලග්නය හිමි ලංකා කේන්දරයට අනුව මෙම සූර්යග්‍රහණය සිදුවන්නේ හය වෙනි භාවයේ ය. බොහෝ දෙනා රටේ ආරක්ෂාව පිළිබඳව වැඩි වශයෙන් කතා බහ කරනු ඇත.
වසංගත රෝග පීඩා පැතිරී යාම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතව පීඩාවට පත්වේ. ඒ අතර සෞක්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතුද වරින්වර අඩාල වේ.
වැසි රහිත කාලගුණය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු අඩාල වන අතර ජලය නොමැතිකම හේතුවෙන් ජනතාවද පීඩාවට පත්වනු ඇත.
මුහුදු අනතුරු සිදුවීමේ ඉඩකඩ පවතින බැවින් ධීවර ප්‍රජාව හා නාවික කටයුතුවල නියැලෙන පිරිස් සැළකිලිමත් විය යුතුය.
ආගමික නායකයින්ට අපල බලපෑම් එල්ල වන අතර ආගමික ගැටුම් ඇතිවීමේ ඉඩකඩ ද පවතියි.
කාන්තාවන්ට කරදර බහුල වේ. ප්‍රබල කාන්තාවකට මාරක අපලයක් එල්ල වේ.

Sunday, December 18, 2016

අඹු සැමි දෙදෙනෙකු අතර තිබිය යුතු වයස් පරතරය කොපමණද ?



  දෙන්නා අවංකව එකිනෙකාට ආදරේ කරගෙන ඉන්නවා නම් කේන්දර,පොරොන්දම්,වයස ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියල තමයි සමහරු කියන්නේ. ඒත් ඉතින් විවාහ ජීවිත දෙදරා යනවා කෙළවරක් නෑ. අඹු සැමි ගැටුම් ආරවුල් මිනී මැරුම් දක්වා දුරදිග යන අවස්ථාත් තියෙනවා. විවාහ ජීවිත තුළ ඇතිවන හැල හැප්පීම් සම්බන්ධයෙන් ජ්‍යොතිෂවේදීන්ට බොහෝ අත්දැකීම් ලැබෙනවා. විවාහය තුළ ප්‍රශ්න මතුවෙන කොට, බිරිඳ හෝ සැමියා දුරස්වෙන කොට, එකිනෙකා නොරුස්සන තත්වයට පත්වෙන කොට ජ්‍යොතිර්වේදියෙක්ව මුණගැහෙන එක තමයි ගොඩක් දෙනෙක් කරන්නේ.විශේෂයෙන් පිටරටවල සේවය කරන විශාල පිරිසක් දිනපතා තමන්ගෙ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. 
   ඉඩමක් ගන්න,ගෙයක් හදාගන්න,දරුවන්ට උගන්වන්න..ඔය වගේ නොයෙක් බලාපොරොත්තු ඇතුව අපේ කාන්තාවො බොහෝ දෙනෙක් විදේශ රැකියාවලට යනවා.එහෙම ගිහින් කාලයක් යනකොට මුහුණු පොතේ ඉන්න කොලු ගැටයෙක් දන්නෙම නැතුව ජීවිතයට සමීප වෙනවා. එතන ඉඳලා ඉතින් එළි වෙනවා දන්නෙ නෑ.රෑ වෙනව දන්නෙ නෑ.හුස්ම වැටෙනවද,නාඩි වැටෙනවද,රටේ ලෝකෙ මොනවා සිද්දවෙනවද මොනවත්ම දන්නෙ නෑ. දෙන්නා නින්දට යන්නෙත් ස්කයිප් ඔන් කරගෙන. හම්බ කරන මුදල් කොලු ගැටයා වෙනුවෙන් වියදම් කරනවා.ටික කලක් යනකොට කොලු ගැටයා වෙනස් වෙනවා. ඊට පස්සෙ තමයි පිස්සුවෙන් වගේ ලංකාවෙ ඉන්න මන්ත්‍ර ගුරුකම් කරන අයට අත දිග ඇරලා සල්ලි යවන්නේ.ඒ විතරක් නෙමෙයි,සමහරු අත කපාගන්නවා,නොකා නොබී ඉන්නවා,නිදිපෙති බොනවා,මැරෙන්න යනවා. දෙන්නාගේ උපන් දින බැලුවම මේ අක්කා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි.පොඩි කොල්ලෙක් හින්දා මුළු සේසතයි, පවුල් ජීවිතෙයි,ආත්ම ගරුත්වයයි සියල්ල විනාශකර ගන්නේ ඔන්න ඔහොමයි.
   තමන්ට වඩා වයසින් ලාබාල තරුණයෙක් සමග විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවක් විවාහයට පෙර කේන්දර ගැළපීම සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. විවාහයට එළඹුණත් එවැනි විවාහ අසාර්ථක වීමේ අවදානමක් තිබෙනවා. අසාර්ථක වූ විවාහ අතුරින් බොහොමයක් එවැනි, වයස අතින් නොගැළපීම් ඇති විවාහයන් බව පෙනෙන්නට තිබෙනවා.
  මෙවැනි අවදානමක් පවතින්නේ ඇයි? ජ්‍යොතිෂය මොහොතකට අමතක කරලා මේ ගැන හොයලා බලමු. කාන්තාවක් පිරිමියෙකුට වඩා වේගයෙන් වියපත් වෙනවා. පිරිමියා වයස 40ක අයෙක් කියලා හිතමු.කාන්තාවට වයස 50 යි.දැන් මේ වයස 40ක් වුණු පුරුෂයා තවමත් ජවසම්පන්නයි.ලිංගික වශයෙන් ක්‍රියාශීලියි.ලිංගික සතුට උපරිමයෙන් අවශ්‍ය කරනවා. වයස 50ක් වුණු කාන්තාව දැන් මේ පුරුෂයාගේ හිතට හරියන්නෙ නෑ.පෙනුම, හැසිරීම මොනවත් මේ පුරුෂයාගේ හිතට ගැළපෙන්නෙ නෑ.පුරුෂයා වෙනත් කාන්තාවන්ට ආකර්ෂණය වෙනවා.පවුල් ජීවිතයේ සමතුලිතතාවය බිඳ වැටෙනවා.
  තවත් පැත්තක් තියෙනවා. යොවුන් වියේ පසුවන බොහෝ පිරිමින් ආදර සම්බන්ධතා ඇතිකර ගැනීමේදී විවාහය ගැන සිතන්නේ ඉතාමත් අඩුවෙන්. ප්‍රධාන වශයෙන්ම සැළකිලිමත් වන්නේ කායික ආශාවන් සතපවාගැනීම සම්බන්ධවයි.සමහරු තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවන් සමග සම්බන්ධතා ගොඩනගා ගත්තත් කල් යාමේදී වයස පිලිබඳ ගැටලුව හිතට වද දෙනවා.කාන්තාව විසින් විවාහවීමට බල කරන විට මෙම තත්වය උග්‍ර වෙනවා.කුමන හෝ හේතුවක් මත විවාහයට එළඹුණත් වයස පිලිබඳ ගැටලුව හිතට වද දෙන්න පටන්ගන්නවා. " යාළු හිතමිත්‍රාදී හැමෝම ලාබාල වයසේ යුවතියන් සමග  විවාහ වෙලා ඉන්නවා...ඒ අය මොන තරම් සතුටින් කල් ගෙවනවා ඇත්ද...මොන අඩුපාඩුවක්වත් නැති මම මොකටද මට වඩා වයසින් වැඩි කාන්තාවක් එක්ක පවුල් කන්නේ..."කාලයක් ගතවෙන කොට ඔහොම හිතන්න පටන්ගන්නවා.සම වයසේ තරුණයන් වයසින් බාල පෙම්වතියන් ඇසුරු කරද්දී, වයසින් බාල යුවතියන් විවාහකර ගනිද්දී වයස පිලිබඳ ගැටලුව විශාල මානසික වදයක් බවට පත්වෙනවා.
ඇතැම් තරුණයින් විදේශ රැකියාවල නියුතු වැඩිමල් කාන්තාවන් සමග ප්‍රේම සම්බන්ධතා ඇතිකරගැනීමට විශේෂ හේතුවක් තිබෙනවා.ඒ තමයි තමන්ගේ ආර්ථික ය දියුණුකර ගැනීම. ඇතැම් තරුණයින් එක වර කාන්තාවන් කීපදෙනෙක් ඇසුරුකරමින් මුදල් ලබාගන්නවා. නමුත් මේ හැම කාන්තාවක්ම සිතන්නේ පෙම්වතා ආදරය කරන්නේ තමන්ට පමණක් බවයි.මේක සංසාරගත, කිසිවෙකුට නොබිඳිය හැකි පුදුමාකාර ආත්මීය ආදරයක් බවයි.
   වසරකින් දෙකකින් හෝ මනාලයා මනාලියට වඩා වැඩිමල්වීම සුබදායක වෙනවා.
  බිරිඳට වඩා වයසින් බාල සියලු සැමියන් වෙනතක යනවා යැයි වැරදි අවබෝධයක් ඇතිකරගත යුතු නෑ. සැමියා බාල වූවත් සාර්ථක විවාහ ජීවිත ගතකරන අඹුසැමියන් සිටිනවා. දෙදෙනාගේ යහපත් ග්‍රහ තත්වයන් මත විවාහ ජීවිත සුරක්ෂිත වන අවස්ථා තිබෙනවා.
   ඔය වගේ ප්‍රශ්නවලින් පීඩා විඳින අයගේ සල්ලි ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන පුද්ගලයින් විශාල පිරිසක් අන්තර්ජාලයේ ඉන්නවා.ප්‍රශ්න එනකොට සෙවිල්ලක් බැලිල්ලක් නැතුව දකින දකින හැමෝටම මුදල් යවලා තඹ තහඩු,නූල් වගේ දේවල් ගෙන්වා ගන්නවා. මා සේවය කරන්නේ මුදල් මත නොව සසරින් එතෙර වීම සඳහායි යනුවෙන් දැන්වීම් පලකරන හාමුදුරුවරුත් මුදල් ගත්තට පස්සේ දෙතුන් වතාවක් කතාකරන කොට කුණුහරපෙන් බනිනවා. 
   මේක අපහාසයක් උපහාසයක් නොවන අතර ඔබ දැනුවත් කිරීම සඳහා අත්දැකීම් අනුසාරයෙන් ලියන ලද්දක් බව සළකන්න.ප්‍රශ්න වැඩි වේවා,පීඩා වැඩි වේවා. පීඩාවන් ට ලක්වූවෝ පිහිට පතාගෙන මා වෙතටම පැමිණේවා යි ප්‍රර්ථනා කරමින් අන්තර්ජාලය පුරා දැන්වීම් පළකරමින්, අසරණ වූ ඔබගේ මුදල ඩැහැගැනීමට සැදී පැහැදී විශාල පිරිසක් සිටින බවද මතක තබාගන්න.
    
        ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 
    දේශමාන්‍ය සංජීව කුළුපන බණ්ඩාර 
  
   

Monday, May 30, 2016

කඩාගන්න පෙර සිතා බලන්න.

ඉදුණු අඹ කියලා අමු අඹ වලට රැවටෙන්න එපා....
ඉදුණු අඹ වගේ පෙනෙන අමු අඹ තියෙනවා....

    අඹ වාරෙට අඹ ගහක් යටට ගිහින් උඩ බැලුවම ඕනැ තරම් අඹ දැකගන්න පුළුවන්. ඔය අඹ අතරේ ඉදුණු අඹ දකින්න ලැබෙනවා. අමු අඹ දකින්න ලැබෙනවා. හැබැයි ඉතින් අමු අඹ ඉදුණු අඹ හොයාගන්න අමාරු අවස්ථාත් තියෙනවා. සමහරු ඉදුණු අඹ කියලා අමු අඹ වලට රැවටෙනවා.අමු අඹ කියලා හිතාගෙන ඉදුණු අඹ අතහැරලා දාන අවස්ථාත් තියෙනවා.
➤ ඉදුණු අඹ වගේ පෙනෙන අමු අඹ තියෙනවා.
➤ අමු අඹ වගේ පෙනෙන ඉදුණු අඹ තියෙනවා.
➤ අමු අඹ වගේ පෙනෙන අමු අඹ තියෙනවා.
➤ ඉදුණු අඹ වගේ පෙනෙන ඉදුණු අඹ තියෙනවා.
    සමහර අඹ අමුයි. ඒත් පේන්නෙ ඉදුණු අඹ වගේමයි. ගොඩක් දෙනෙක් මේ අමු අඹ වලට රැවටෙනවා. කඩාගෙන බැලුවට පස්සේ තමයි දැනගන්නේ අමු අඹ කියලා. සමහර අඹ පේන්නේ අමු අඹ වගේමයි. හැබැයි ඉදිලා. ඒත් ඉදුණු බව බැලූ බැල්මට පේන්නෙ නෑ.කවුරුවත් ගනන්ගන්නෙත් නෑ. වැඩක් නෑ...අමු අඹ...  කියලා අතඇරලා දානවා. ඉදුණා වගේ පෙනෙන ඉදුණු අඹත් තියෙනවා. ඉදුණු අඹ වගේ පේනවා ඒ වගේම ඉදිලා. අමු අඹ වගේ පෙනෙන අමු අඹත් තියෙනවා. පේන්නෙත් අමු අඹ වගේ ඒ වගේම අමුයි.
     දැන් බලන්න ඔය අමු අඹ, ඉදුණු අඹ වගේ පෙනෙන මනුෂ්‍යයොත් ඉන්නවා නේද කියලා. සමහරු ඉන්නවා හරියට පෙරාපු රත්තරං වගේ. හදවතට දැනෙන්න කතා කරනවා. කටපුරා හිනා වෙනවා. බොහොම වැදගත් විදියට අඳිනවා. හරිම පින්බර විදියට හැසිරෙනවා. ඒත් අභ්‍යන්තරය ගන්න දෙයක් නෑ. ලං කර ගත්තට පස්සෙ තමයි  තේරෙන්නෙ පුද්ගලයා කවුද කියලා. බොහොමයක් ගෑණු ළමයි රැවටෙන්නේ ඔන්න ඔය වගේ අයට තමයි. පහුගිය කාලෙ තරුණියන් කීප දෙනෙක්ම විවාහ කරගත්තු ඔය වගේ අනංගයෙක් නීතියේ රැහැනට කොටුවෙලා තිබුණා. හැමෝටම කියලා තිබුණෙ තමන් වරායෙ උසස් රැකියාවක් කරනවා කියලයි. හැබැයි කරලා තිබුණෙ කොන්දොස්තර වැඩේ. අන්තිමට මෙයාට රැවටිලා තිබුණෙ උපාධිධාරිනියක්. ඔය විදියට දවසකට කී දෙනෙක්නම් ඉදුණු අඹ කියලා අමු අඹ වලට රැවටෙනවද ...සමහරු සමාජයේ බොහොම වැදගත් ගෞරවනීය චරිත විදියට ජීවත්වෙනවා. මේ වගේ කෙනෙක් ගෙන් තමන්ගේ දියණියට විවාහ යෝජනාවක් ඉදිරිපත් වුණාම   දෙමව්පියෝ එක පයින් කැමති වෙනවා. මේ වගේ කෙනෙක් පවුලට සම්බන්ධවෙන එක මොන තරම් වාසනාවක්ද...කේන්දර ඉල්ලන්නයි පොරොන්දම් ගළපන්නයි ඕනැ නෑ..ඒ බොරු වැඩ නවත්තලා ඉක්මනට මේක කරලා දාමු.. ඔහොම කියලා තමන්ගෙ දියණියව අමාරුවෙ දානවා. ඉදුණු අඹ කියලා අමු අඹ වලට රැවටුණු බොහෝ දෙනෙක් ගෙන් ඇමතුම් ලැබෙනවා. බොහොමයක් දෙනා මව් බිමෙන් බැහැරව කටයුතු කරන අය. මොන තරම් දැනුවත් කළත් අදත් හෙටත් ඔය දේ ඔය විදියටම වෙනවා.
     අමු අඹ වගේ පෙනෙන ඉදුණු අඹ තියෙනවා. දැන උගත්කම, බුද්ධිය, ප්‍රඥාව හොඳටම තියෙනවා හැබැයි පේන්නෙ නෑ. පෙන්නන්නෙත් නෑ. කවුරුවත් මේ අයව වැඩිය ගණන් ගන්නෙත් නෑ. ඇතුළ හිස් වුණත් හැම දෙයක්ම සම්පුර්ණයි කියලා පෙන්නන අයට නේ කවුරුත් සළකන්නේ. මේ අය තැනට ගැළපෙන විදියට අවස්ථාවට සරිලන විදියට තමන්ගේ දැනුම ප්‍රඥාව භාවිතා කරලා බොහොම චාම් විදියට ජිවත් වෙනවා. දවසක් රාජ්‍ය බැංකුවකට වයසක පුද්ගලයෙක් ඇවිත් කවුන්ටරයේ හිටපු සේවිකාවකට තමන්ගේ අවශ්‍යතාවය ඉදිරිපත් කළා. සේවිකාව ඒ පුද්ගලයාව ගණනකට ගත්නේ නැතුව අනිත් අයගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කළා. ටිකක් වෙලා නිශ්ශබ්දව හිටපු වයසක පුද්ගලයා තමන්ගේ අවශ්‍යතාවය ඉංග්‍රීසියෙන් පැවසුවා. සේවිකාව කටපුරා හිනා වෙලා එසැනින් අවශ්‍යතාවය ඉටුකරලා දුන්නා.   සමහරු තමන් දන්නා දේවල්, තමන්ගේ තත්වය තරාතිරම පෙන්නන්න කැමති නෑ. කේන්දරයේ සෙනසුරු බලවත් වුනු අය, සෙනසුරු ලග්නගත වුනු අය, ශනි බුධ යෝගය හිමි අය වැඩිය පෙන්නන්න යන්නෙ නෑ. කෙනෙක්ගේ දැනුම, ප්‍රඥාව, උගත්කම මතුපිටින් බලලා තේරුම් ගන්න බැරි අවස්ථා තියෙනවා. අද මහා බලවත් තත්වයට පත්ව තිබෙන බොහෝ රටවල දියුණුවට අඩිතාලම දමා තිබෙන්නේ ඇඟපතින් පොඩි, පෙනුමින් චාම් නමුත් ප්‍රඥාවන්ත නායකයින් බව සත්‍යයක්.
    අමු අඹ වගේ පෙනෙන අමු අඹ වගේ අයත් ඉන්නවා. ඒ අයගේ ගතිගුණ හැසිරීම, කරන කියන දේවල් හැම දෙයක්ම ඉතාමත් පහත් තත්වයක තමයි තියෙන්නේ. ඒ වැරදි හැසිරීම එළිපිටම ප්‍රදර්ශනය කරනවා. ඒ වගේ අය මුහුණු පොතේ බහුලව ඉන්නවා. නිතරම පරුෂ වචන භාවිතා කරනවා. තමන්ගේ නොහොබිනා හැසිරීම හැමෝටම පෙනෙන විදියට පවත්වාගෙන යනවා. හැබැයි එහෙම අයට ප්‍රිය කරන ඒ වගේම අය ඉන්නවා. රට තොටේ සිද්ධවෙන දේවල් ගැන දන්නෙත් නෑ දැනගන්න අවශ්‍යතාවයකුත් නෑ. වැඩකට නැති නිසරු දේවල් එක්කම තමයි ඒ අය ගැවසෙන්නේ. ආගම දහම , ගුරුවර වැඩිහිටි ආදීන් කෙරෙහි ගෞරවයක් නෑ. තමන්ගේ දෙමව්පියන්ව පවා තුට්ටුවකට මායිම් නොකරන අය මොන තරම් ඉන්නවද... මව්වරුන්ගේ දිනය දවසෙදි අම්මව ගෙදරින් එළියට ඇදලා දමන දූරු පුත්තු ගැන පවා අපිට අහන්න ලැබෙනවා.  උතුරු පළාතේ පොලිස් නිලධාරියෙක්ගේ දියණියක් තමන්ගේ ස්වාමි පුරුෂයාගේ පිහි පහරකින් මරණයට පත්වූ පුවතක් දින කීපයකට කලින් වාර්තා වුණා.මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ  තරුණයෙක් සමග ඇතිකරගත්තු ප්‍රේම සම්බන්ධතාවයක් මත හිතුවක්කාර කමට තමයි ඇය විවාහ වෙලා තියෙන්නේ. අන්තිමට ඒ ස්වාමි පුරුෂයාගේ අතින්ම අවසන් ගමන යන්න වුණා. ඒ විතරක් නෙමෙයි අහිංසක අම්මටත් පිහි පාරක් කන්න සිද්ද වුණා. අමු අඹ වගේ පෙනෙන අමු අඹ වලටත් සමහරු ඔය විදියට රැවටෙනවා.
    ඉදුණු අඹ වගේ පෙනෙන ඉදුණු අඹ වගේ අයත් ඉන්නවා.ගුණ යහපත්කම, දැනුම, බුද්ධිය, ප්‍රඥාව හොඳට තියෙනවා. ඒ හැම දෙයක්ම පේන්නත් තියෙනවා. අද කාලයේ මේ වගේ අය අඩුයි. ඒ වගේම මේ වගේ අයට නිසි වටිනාකමක්, තැනක් ලැබෙන්නෙත් නෑ. මනුෂ්‍යයාගේ දැනුම ප්‍රඥාව අඩු වෙනකොට යහපත් ගුණගරුක අයට පිළිගැනීමක්, වටිනාකමක් නැතුව යනවා. විචාර බුද්ධිය, රසවින්දන ශක්තිය, තර්කන හැකියාව තරුණ පරපුර වෙතින් සිඝ්‍රයෙන් ඈත් වෙමින් තියෙනවා. ඉස්සර සංගීත ප්‍රසංගයක් නරඹන්න යන මිනිස්සු  ටී. එම් ජයරත්න, සුනිල් එදිරිසිංහ, ගුණදාස කපුගේ, වික්ටර් රත්නායක, මොහිදීන් බෙග්, සනත් නන්දසිරි, නීලා වික්‍රමසිංහ, මාලිනී බුලත්සිංහල වගේ සම්භාව්‍ය ගායක ගායිකාවෝ වේදිකාවට ගොඩවෙනකල් බලාගෙන හිටියා. අද කාලයේ ඒ වගේ සන්සුන් කලාකරුවන්ට ප්‍රසංග වේදිකාවේ තැනක් නෑ. අද කාලේ අහන්න පුළුවන් ගීත ලියැවෙනවා ඉතාමත් අඩුයි. අහන්න පුළුවන් ගීත ලිව්වත් අහන්න කෙනෙක් නෑ. හැමෝම ජිවත් වෙන්නෙ වේග රිද්මයක. වචනෙ වැරදුණොත් පිහිය ගත්තා ඇන්නා. නැත්නම් වෙඩි තිබ්බා. මේ වගේ කාලයක ගුණ යහපත්, උපශාන්ත මිනිසුන්ට පිළිගැනීමක් ලැබෙන්නෙ නෑ. මේ වගේ අය ජිවිතයට සමීප කරගත්තොත් ජීවිතය බැබළෙනවා. වචනයකින් වුණත් හොඳක් මිසක නරකක් වෙන්නෙ නෑ. 
       තමන් ජිවිතයට සමීප කරගන්න හදන්නේ අමු අඹ ගෙඩියක්ද ඉදුණු අඹ ගෙඩියක්ද කියන එක වේලාසනින් තේරුම් ගත්තොත් අනාගතය සුබදායක වෙනවා. කෙනෙක්ව සමීප කරගන්න කොට වගේම කෙනෙක්ව තමන් වෙතින් දුරස් කරගැනීමේදීත් සැළකිලිමත් වෙන්න ඕනෑ. අමු අඹයක් කියලා හිතාගෙන විසිකරන්න හදන්නේ ඉදුණු අඹයක් වෙන්නත් පුළුවන්. 

Sunday, January 10, 2016

සසර පුරුද්දට එකතුවෙන හැමෝම 
හැමදාම එකට ඉන්නවද ?

   සමහරු ආදරෙන් බැඳෙනවා. ආදරය විවාහය දක්වාම පවත්වා ගන්නවා. සමහරුන්ගේ ආදරය පවතින්නේ ඉතාම සුළු කාලයයි. " අපේ ආදරය හොරු අරන් ගියා වගේ...හිතාගන්නවත් බැරි විදියට වෙන් වෙන්න වුණා.."  ඔය විදියට කියන අය මොන තරම් ඉන්නවද. සමහරු ආදරය කරනවා ඒත් විවාහ වෙන්න ලැබෙන්නෙ නෑ. " අපේ ආදරයට දැන් අවුරුදු දොළහක් වෙනවා.ඒත් තවම විවාහ වෙන්න බැරි වුණා. කවදා විවාහ වෙන්න පුළුවන් වෙයිද කියලා හිතාගන්න බෑ...ඔහොම කියන අයත් ඉන්නවා. 

මෙහි දැක්වෙන පළමු කේන්දරයේ හිමිකාරිය ඉපදී තිබෙන්නේ 1962. 04. 16 දින යි. දෙවැනි කේන්දරයේ හිමිකරුවා ඉපදී තිබෙන්නේ 1984. 02. 10 දින යි. එහෙමනම් දෙන්නා අතර වයස් පරතරය අවුරුදු 22 යි. අවුරුදු 54 ක කාන්තාවක් අවුරුදු 32 ක තරුණයෙක් සමග පෙමින් බැඳීම වරදක් යැයි කෙනෙකුට සිතෙන්න පුළුවන්. ඒත් සසර පුරුද්දට මේ දෙන්නා ආදරෙන් බැඳුණා. දෙන්නගේ ආදරයට දැන් වසර ගණනාවක් ගතවෙලා.ඒත් දෙන්නට දෙන්නා අවංකව ආදරෙන් ඉන්නවා. වයස් පරතරය හින්දා විවාහ වෙන්න විදියක් නෑ. 
 සසර පුරුද්දට හමුවුණත්විවාහ ජිවිතයට ඇතුළු වෙලා එක වහළක් යට එකට ජිවත් වෙන්න බැරි අයත් ඉන්නවා. වයස් පරතරය වැඩිවීම, විරෝධතා එල්ලවීම වැනි හේතු මත එහෙම සිදුවන අවස්ථා තියෙනවා.
      සසර පුරුද්දට කීප දෙනෙක් එකවර හමුවන අවස්ථාත් තියෙනවා. ඒවගේ අවස්ථාවලදීත් නොයෙක් ගැටලු පැටළිලි මතුවෙනවා. මෑතකදි යුවතියක් දුරකථනයෙන් ඇමතුවා. මේ යුවතිය තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන තිබුණා. දෙන්නා අතර ඇතිවුණු යම් ප්‍රශ්නයක් හේතුවෙන් සම්බන්ධය නතරවෙලා.ඔය අතරෙ මේ යුවතියට වෙනත් තරුණයෙක් මුණගැහුණා. කළින් පෙම්වතාව අමතක කිරීමේ හැකියාවක් නොතිබුණත් අලුත හමුවුණු තරුණයා වෙත බොහොම ආදරයෙන් නැඹුරු වුණා. දෙන්නා දැඩිව ආදරෙන් කාලය ගෙවන අතරෙදි කළින් පෙම්වතා නැවත මේ යුවතිය හොයාගෙන ආවා. සිදුවුණු වැරදි අඩුපාඩු අමතක කරළා හිටියා වගේ නැවත ආදරෙන් ඉඳිමු කියලා ඒ තරුණයා යෝජනා කළා. මේ යුවතියට පළමු පෙම්වතාව  ප්‍රතික්ෂේප කරන්නත් බැරිවුණා. දැන් දෙන්නටම ආදරේ කරගෙන ඉන්නවා. ඒත් හිතේ ලොකු ප්‍රශ්නයක්. එක්කෙනෙක්ව අනිවාර්යයෙන්ම ඈත් කරන්නම වෙනවා. මේ යුවතිය අහනවා මම දැන් මොකද කරන්න ඕනැ කියලා. මතුවෙලා තියෙන්නේ බරපතල ප්‍රශ්නයක්. මේ තුන් දෙනාගෙම කේන්දර තුළ සසර සම්බන්ධතා පෙන්වන ග්‍රහ පිහිටීම් සටහන්ව පවතිනවා. 
     ආදරය වගේම වෛරයත් සසර පුරුද්දට භවයෙන් භවයට යනවා. තමන්ට හමු වෙලා තියෙන්නේ පෙර භවයේ වෛරක්කාරයෙක් බව සමහරුන්ට අවබෝධ වෙන්නේ විවාහ වී කාලයක් ගතවූවාට පසුව යි. දෙන්නෙකුගේ කේන්දර ගැළපීමේදී මේ දේවල් ගැන අවධානය යොමු කළ යුතුයි. දෙන්නා අතරේ පවතින ආකර්ෂණය ලෙන්ගතුකම යම් කිසි කාලයක දි බිඳ වැටෙනවා දැයි සොයා බැලිය යුතුයි. කේන්දර තුළ සසර සම්බන්ධතා දකින්න තිබුණත් දෙන්නාගෙන් කෙනෙක් ආදරය මුවාවෙන් වෛරය රැගෙන ආ කෙනෙක්දැයි විමසිලිමත් විය යුතුයි. 
      " එයා හවසට ගෙදර එන වෙලාව ළං වෙද්දි පුදුම කළකිරීමක් ඇතිවෙනවා. මොන වැරැද්දකට මට මේ තරම් වද දෙනවද මන්දා...දරුවා හින්දා අයින්වෙලා යන්නත් බෑ. මේ නම් සංසාරේ වෛරක්කාරයෙක්.."  ජිවිත කාලය පුරාම ආදරෙන් ඉන්න හිතාගෙන එකතුවෙන සමහරුන්ට ඔය වගේ ප්‍රශ්න ඇතිවෙනවා. විවාහය සඳහා කේන්දර දෙකක් පරීක්ෂා කිරීම සංකීර්ණ කටයුත්තක්. දෙන්නගේ ගණ, පක්ෂි, යෝනි, ලිංග ආදී පොරොන්දම් ටික විතරක් බලලා ගැළපීම තීරණය කරනවා නම් ඒ දක්ෂ ජ්‍යොතිර්වේදියෙක් නෙමෙයි. 
   අඹු සැමි යුවළක ගේ කේන්දර සටහන් දෙක අංක 03 හා 04 යටතේ දැක්වෙනවා.අංක 03 හිමි කේන්දරය ස්වාමිපුරුෂයාගේ යි. අංක 04 දරන කේන්දර සටහන බිරිඳගේ යි. දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් වූවත් මොවුන් දෙදෙනා අතර කිසිම සමගියක් ලෙන්ගතු බවක් නෑ. බිරිඳ කියන දේ සැමියාට අල්ලන්නෙ නෑ. සැමියා කියන දේ බිරිඳට හරියන්නෙ නෑ. මේ වෙනකොට දෙන්නා අතරෙ අඹු සැමි සම්බන්ධයක් නෑ. දරුවන්ගේ දෙමාපියන් ලෙස එක වහළක් යට සිටිනවා පමණයි.විවාහයට පෙර කේන්දර පරික්ෂා කළ ජ්‍යොතිෂවේදියා පවසා ඇත්තේ කේන්දර දෙක ඉතා හොඳින් ගැළපෙන බවයි. කේන්දර දෙකේ හත් වැනි භාව තුළ සිටින රාහු සහ කේතු එකිනෙකට ප්‍රතිවිරුද්ධ ග්‍රහයින් දෙදෙනෙකු බවත් ඒ හේතුවෙන් විවාහය තුළ දෙදෙනා අසමාන අයුරින් කටයුතු කරන බවත් එම ජ්‍යොතිෂවේදියා දැන සිට නෑ.

තමන් වෙත සමීප වන අය සාංසාරික ආදරවන්තයින් ආදරවන්තයන් යැයි බොහෝ දෙනෙකුට සිතෙනවා. මේ සාංසාරික ආදරය දිවි ඇතිතෙක් පවතිනු ඇතැයි ද සිතෙනවා. නමුත් එය එසේම වනවා නම් පෙම්වතුන් පෙම්වතියන්, සැමියන් බිරින්දෑවරුන් මෙතරම් දුක් කරදර, කළකිරීම් වලට ලක්වන්නේත් ඇතැමුන් සියදිවි නසාගන්නෙත් ඇයි ? 

Friday, December 25, 2015

සමහරුන්ට කොයි දේකත් අගය දැනෙන්නේ ටික කාලයයි.

      සිත කියන්නේ පුදුමාකාර දෙයක්.  වෙනස් නොවන දෙයක් ලෝකයේ නෑ. හැම දේටම වඩා ඉක්මනට සිත වෙනස් වෙනවා.කෙනෙකුගේ හිතේ තියෙන දේවල් දැනගන්න තාක්ෂණික මෙවලමක් තවම බිහිවෙලා නෑ. කෙනෙකුගේ සිතුවිලි ක්‍රියාත්මක වන විදිය දැනගන්න පුළුවන් වෙන්නෙ ජන්ම පත්‍රයෙන් විතරයි.උපතේදී ග්‍රහයො පිහිටලා තිබෙන ආකාරය අනුව, දශා, අන්තර්දශා ගතවන ආකාරය අනුව, ගෝචර ග්‍රහචාරය අනුව සිතුවිලි වෙනස් වන ආකාරය ජන්ම පත්‍රය තුළින් දැක ගන්න පුළුවන්. ඒත්, දෙදෙනෙකුගේ සිතුවිලි ක්‍රියාත්මක වන විදිය මොනවගේ දැයි නොබලා පොරොන්දම් විස්ස තුළ කොටුවෙලා ගැළපීම පරික්ෂා කරන ක්‍රමයක් තමයි අද බොහෝ දෙනෙක් කරන්නේ.  පොරොන්දම් විස්ස පමණක් ගළපා විවාහය කරගෙන අමාරුවෙ වැටෙන පිරිස සුළුපටු නෑ.
    " ඒ දවස්වල මගෙ මොළේට හෙණ ගහළා තිබුණද මන්දා...මම මොකට මේ මනුස්සයට කැමති වුණාද ? හරියට අහසයි පොළවයි වගේ. කිසිම ගැළපීමක් නෑ...."   විවාහයෙන් පස්සේ ඔය විදියට පශ්චාත්තාප වෙන අය ඕනැ තරම් ඉන්නවා. විවාහයෙන් පස්සේ මොන තරම් කල්පනා කළත්, වැරදුණු තැන් හෙව්වත් වැඩක් වෙන්නෙ නෑ. විවාහ වෙන්න කලින් හොඳට හිතල බලන්න ඕනැ. දෙදෙනෙක් දෙපොළක ඉඳගෙන ආදරේ කරන ජීවිතයට වඩා එක වහළක් යට ගත කරන ජීවිතය ගොඩක් වෙනස්. 
    සමහරුන්ට ඕනැම දේක අගය වටිනාකම ඉක්මනින්ම අඩුවෙලා යනවා. මුලදි තියෙන ආදරය, ඇල්ම, ලෙන්ගතුකම ටිකෙන් ටික අඩුවෙනවා. මුලදි හැම දෙයක්ම හොයන බලන සමහරු කල් යනකොට කෑවද බිව්වද කියලවත් බලන්නෙ නෑ. " ඉස්සර මාව නැතුව බැරුව නෙ හිටියේ...ඒකනෙ මම කැමති වුණේ. දැන් මේ මනුස්සයට මා ගැන වගක්වත් නෑ නේ......" යුග දිවියේ ගැටලු ගැන කතාකරන ගොඩක් දෙනෙක් ඔහොම කියනවා. එයා පසු කාලයේ දී වෙනස් වෙන කෙනෙක්ද කියලා මුලින්ම ජන්ම පත්‍රය ආශ්‍රයෙන් දැනගත්තා නම් ඔහොම කියන්න වෙන්නේ නෑ. පොරොන්දම් විස්සෙන් වැඩි ගණනක් ගැළපුණු හින්දා, වෙන කිසිම දෙයක් ගැන තැකීමක් නොකර විවාහ වුණු අය ඔය විදියට අමාරුවෙ වැටෙන්න පුළුවන්. 
   කෙනෙක් ගේ සිත ගැන කරුණු හෙළි කරන ප්‍රධානම ග්‍රහයා තමයි සඳු හෙවත් චන්ද්‍රයා. සඳු දුර්වල වුණාම සිතුවිලි දූෂ්‍ය වෙනවා.සඳු පාප ග්‍රහයින්ගේ බලපෑමට ලක්වෙලා ඉන්නවා නම් සිත පහසුවෙන්ම පාපයට පෙළඹෙනවා. එහෙම කෙනෙකු ගේ පිටට පෙනෙන ශාන්තදායක ස්වභාවය අභ්‍යන්තරයේ නෑ. සඳු ග්‍රහයා යහපත්ව, නිරවුල්ව පිහිටන තරමට තමයි කෙනෙක් සංවේදී, කාරුණික, උණුවෙන හදවතක් ඇති කෙනෙක්  වෙන්නේ. කෙනෙක් අවංකද චපලද කියලා බලන කොට එයාගේ කේන්දරයේ සඳු ගැන විශේෂයෙන් සැළකිලිමත් වෙන්න ඕනෑ.
     සමහර ස්වාමිපුරුෂයො වෙනත් කාන්තාවක් එක්ක කාමරයක ඉන්න ගමන් තමන්ගෙ බිරිඳට කියනවා හදිස්සි බිස්නස් වැඩක ඉන්නෙ කියලා. සමහරු කට ඇරියොත් කියන්නෙ බොරුමයි.  කාලයත් එක්ක කියපු කරපු හැම දෙයක්ම එළියට එනකොට යුගදිවිය අපායක් බවට පත් වෙනවා. රාහු, කේතු හෝ නීච චන්ද්‍රයා දෙවැන්නේ ඉන්න අය බොරු කියන්න දක්ෂයි. එක බොරුවක් වහන්න බොරු සීයක් කියයි.   යුගදිවිය අපායක් බවට පත් වුණාම බිරිඳ දරුවොත් එක්ක ගඟට පනිනවා. පහු ගිය කාලෙ නිල්වලා ගඟටම කීදෙනෙක් පැන්නද..
       ඇතැම් ජ්‍යොතිෂවේදීන් ගේ වැරදි උපදෙස් හේතුවෙන් බොහෝ දෙනෙක් දුකට පත්වෙනවා. පුවත්පත්වල පලකරන මංගල දැන්වීම්වල කේන්දරයේ ග්‍රහ පිහිටීම් පවා සඳහන් කරනවා. කුජ හතේ, සිකුරු දෙකේ, දෙනට නැකත, කන්‍යා ලග්නය...  ඔන්න ඔය විදියට කේන්දරයේ විස්තර දැන්වීමට ඇතුළත් කෙරුවම ඕක දකින අවස්ථාවාදී කපටි පුද්ගලයෙක් ඒ ග්‍රහ පිහිටීම්වලට ගැළපෙන ග්‍රහ පිහිටීම් තියෙන කේන්දරයක් හදාගන්නවා. ඊට පස්සේ ඒ කේන්දරයට රැවටිලා අමාරුවෙ වැටෙනවා. කේන්දරය කියන්නේ පෞද්ගලික දෙයක්. ඒකෙ විස්තරය දැන්වීමට ඇතුළත් කරන්න අවශ්‍ය නෑ. විශේෂයෙන් ගෑණු ළමයින්ගේ කේන්දර  හුවමාරු කරගන්නවා නම් පරිස්සමෙන්. 
     අද කාලයේ වඩු බාස්ලත්  ඉංජිනේරුවෝ විදියට රඟපාලා විවාහ හත අට කරගන්නවා. තියෙන මුදල්, රන් ආභරණ සේරම අරගෙන මාරුවෙනවා. ඊට පස්සේ උසාවි ගානේ ගිහින් ප්‍රශ්නෙ විසඳගන්න වෙනවා. සිද්ධිය පත්තරේ "දෙය්යෝ සාක්කි" තීරයේ පලවෙනවා. ගෙදරට එන මුල් දවසෙම මුළු සේසතටම විදින්න පුළුවන් වැඩකාරයෝ තමයි අද ඉන්නේ. පදිංචිය කැනඩාවෙ නිවාඩුවට ආවෙ කිව්වා නම් ඇති. ඔක්කොම එකතුකරලා දෙනවා.
      කේතු කියන්නේ ඉතාමත් ගුප්ත රහස්‍ය ග්‍රහයෙක්. කේතු ලග්නයේ ඉන්න බොහෝ දෙනෙක් ගුප්තයි. තේරුම් ගන්න අමාරුයි. තමන්ගේ අදහස් අරමුණු අනිත් අයට හෙළි කරන්නෙ නෑ. හිතේ තියෙන දේවල් නෙමෙයි එළියට දාන්නෙ. තමන් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාගෙ ලග්නයේ හෙවත් පළමු භාවයේ කේතු ඉන්නවා නම් එයා ගැන ටිකක් වැඩිපුර විස්තර හොයල දැනගන්න එක නුවණට හුරුයි. විස්තර හොයල දැනගන්න ඕනැ කියන්නේ එයාගෙන් අහල දැනගන්න එක නෙමෙයි. වටින් පිටින් විස්තර හොයාගන්න ඕනැ. කේතු හත් වැනි භාවයේ ඉන්න අයට බොහෝ විට ලැබෙන්නේ ගුප්ත සහකරුවෙක් හෝ සහකාරියක්. 
     සමහර නෝනලා වාහනෙන් බැහැලා ඇවිත් කේන්දරය බලාගන්නවා. මහත්තයා වාහනේට වෙලා ඉන්නවා නෝනා කේන්දරය බලාගෙන එනකල්. හැබැයි නෝනා ඇවිත් බලාගන්නේ නෝනගේ කේන්දරයවත් මහත්තයාගේ කේන්දරයවත් නෙමෙයි වෙනත් මහත්තයෙකු ගේ කේන්දරයක්. නෝනව වාහනේ එක්කගෙන ආවට මහත්තයා දන්නෙ නෑ නෝනා පනින්න හදන්නෙ මොනවගේ පිම්මක්ද කියලා. මහත්තයව  දාලා නෝනා තව කෙනෙක් එක්ක ගියාට පස්සෙ තමයි මහත්තයා නෝනගෙ තරම දැනගන්නේ. එදාට ඉතින් මිනී මැරෙන්නත් පුළුවන්.
     ඔරුව දියට දාලා කඩතොළු තියෙනවද කියලා බැලුවට වැඩක් නෑ. ඔරුව හිල් වෙලාද කියලා බලන්න ඕනැ දියට දාන්න කලිනුයි. පුද්ගලයා කවුද මොනවගේ කෙනෙක්ද කියලා හොයල බලන්න ඕනැ යුග දිවියට එළඹෙන්න පෙර යි. 
    පිටරටවල රැකියා කරන නෝනලා මහත්තුරු බොහෝ දෙනෙක් කියන දෙයක් තියෙනවා. " ළඟකදි ඉඳලා හරියට කතාකරන්නෙ නෑ. කතා කළත් වචනයයි දෙකයි ඒකත් ආදරේකින් නෙමයි....මම කතා කරනවට කතා කරනවා වගේ තමයි. මම ලංකාවෙන් පිටත් වෙනකොට කඳුළු පුරවගෙන හිටපු කෙනා දැන් ආදරෙන් වචනයක් කතා කරන්නෙ නෑ.  මට දැන් මෙහෙට වෙලා රැකියාව කරගන්නත් බෑ. ඔක්කොම දමල ගහලා ලංකාවට යන්න හිතෙනවා...."     ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් දෙනෙකුට තියෙනවා.
   වැරදි තෝරාගැනීම් හේතුවෙන් මතුවන ගැටලු කරදර ඉවසාගැනීමට නොහැකිව, ඇතැමුන්  පදිංචිය අතහැර වෙනත් ප්‍රදේශයකට ගොස් පදිංචි වන අවස්ථාත් තිබෙනවා. වරක් ඉහළ පවුලක තරුණියක් හිතුවක්කාර විවාහයකට එළඹුණා. තරුණයා හමුදා සේවය අතහැර දමා පැමිණ පාතාල ක්‍රියාකාරකම් වල නියැලුණු අයෙක්. ටික දවසක් ගත වෙද්දී තරුණිය ගේ දෙමාපියන්ට මේ තරුණයාගෙන් බලපෑම් එල්ල වෙන්න පටන් ගත්තා. සියලු දේපළ තමන්ගේ නමට ලියා දෙන මෙන් තර්ජනය කරන්න වුණා. අවසානයේ දියණිය ව කෙසේ හෝ එම තරුණයාගෙන් ගළවා ගත් දෙමාපියන්,  පදිංචි ප්‍රදේශය අතහැර වෙනත් ප්‍රදේශයකට යන්න ගියා. 
    ඇතැමුන් කේන්දරය ගැන විශ්වාසය තබන්නට පටන් ගන්නේ සියල්ල සිදු වුණාට පසුව යි. "ඒ කාලෙ ඕවා ගැන හිතුවෙ නෑ නෙ... හණමිටි අදහස් කියලා ඕවට හිනා වුණා මිසක් කේන්දර ගැන විශ්වාසයක් තිබුණෙ නෑ...."  ඔහොම කියන අය ඕනැ තරම් ඉන්නවා. අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා තේරුමක් නෑ. පනින්න පෙර සිතා බැලීම හැම අතින්ම ගුණදායකයි.
   
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 

දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර 
    
    

Friday, March 6, 2015

දෙදෙනෙකු මුණගැහෙන්නේ සසර පුරුද්දටම ද ?

    'එයාව මම කොහේදි හරි දැකලා තියෙනවා. ඒ ඇස් දෙක මට හොඳට පුරුදුයි. කතා කරන ඇස් දෙකක්....මට හිතෙන්නේ අපි පෙර භවයේ එකට ඉන්න ඇති....'
    හිතට වදින රුපයක් දැක්කම හැම දෙයක්ම හිතෙන්නේ තමන්ගේ වාසියටමයි.නෙත රැඳෙන හැම තැනම පේන්නේ ඒ රුපයම යි. වැඩක් කරන්න ගියත්, නිදාගන්න ගියත් හිතේ මැවෙන්නේ ඒ රූපයම යි. ඒ විදියට හිතට වැදුණු රූපය තමන්ගෙන් දුරස් වෙනකොට දරා ගන්න අමාරු වෙනවා. පෙර භවයෙදිත් ඔය විදියටම සිද්ද වෙන්න ඇති කියලා හිත හදාගන්න එතකොට නම් බෑ. කොහොම වුණත් තමන්ගේ හිතට වැදුණු කෙනා පෙර භවයෙදිත් තමන් සමග දුක සැප බෙදා ගත්තු කෙනෙක් කියන හැඟීම බොහෝ දෙනෙකුට ඇති වෙනවා. විශේෂයෙන් කාන්තා පක්ෂය ඒ විදියට හිතනවා.
     හැම හමුවීමක් ම සිදුවෙන්නේ සසර පුරුද්දටමද....
  දෙන්නෙක් සසර පුරුද්දට හමුවෙලා ආදරෙන් බැඳෙන අවස්ථා තියෙනවා. ඒත් සෑම හමුවීමක් ම සිදු වෙන්නේ සසර පුරුද්දටම නෙමෙයි. තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය සසර පුරුද්දට හමු වුණු කෙනෙක්ද කියලා ජන්ම පත්‍රයෙන් දැනගන්න පුළුවන්. සසරේදී ආදරෙන් හිටපු කෙනෙක්ද, සසරේදී වෛරයෙන් හිටපු කෙනෙක්ද කියන එකත් ජන්ම පත්‍රයෙන් දැනගන්න පුළුවන්. සමහරු සසර පුරුද්දට මුණ ගැහිලා වෛරය පිරිමහනවා. ආදරය වගේම වෛරයත් භවයෙන් භවයට ගමන් කරනවා.
     දුටු පමණින් දෙන්නෙක් එකිනෙකා වෙත ආකර්ෂණය වන අවස්ථා තියෙනවා. ප්‍රථම දර්ශනයෙන්ම ආදරවන්තයින් බවට පත්වන අය ඉන්නවා. දුටු පමණින් ආකර්ෂණය වන ග්‍රහ පිහිටීම් සමහර කේන්දර තුල පිහිටනවා. දෙදෙනෙක් විවාහය ට ගැළපෙනවාදැයි බැලීමේදීත් දෙදෙනා එකිනෙකා වෙත ආකර්ෂණය වන තත්වයක් තිබෙනවාදැයි බැලිය යුතුයි.  ඒ ආකර්ෂණය හුදු තාවකාලික එකක්ද, සාංසාරික එකක්ද, ජීවිතය පුරා පවතින එකක්ද යන්න පරික්ෂා කළ යුතුයි.
     පුරුෂයෙකුගේ විවාහය සහ කාමය ප්‍රධාන වශයෙන් සිකුරු විසින් පාලනය කරනවා. කාන්තාවකගේ විවාහය සහ කාමය අඟහරු හෙවත් කුජ විසින් පාලනය කරනවා. මේ ග්‍රහයෝ දෙදෙනා කේන්දර දෙකෙහි පිහිටා තිබෙන ආකාරය අනුව දෙන්නෙක් එකිනෙක වෙත ආකර්ෂණය වනවාද නැද්ද යන්න තීරණය වෙනවා. දෙදෙනා එකිනෙකා වෙත ආකර්ෂණය වෙනවා නම් එම ආකර්ෂණය අතරමග බිඳ වැටෙනවාද නැතිනම් ජිවිත කාලය පුරා පවතිනවාද යන්නත් මෙම ග්‍රහයො දෙදෙනාගේ පිහිටීම පරික්ෂා කිරීමෙන් දැනගන්න පුළුවන්. සමහර විවාහයන් දින කීපයකින් බිඳ වැටෙනවා. වසරකින්, දෙකකින් වගේම වසර දහයකින් දොළහකින් බිඳ වැටෙන අවස්ථාත් තියෙනවා. විවාහයක් යනු ජිවිත කාලයටම පැවතිය යුතු දෙයක් විනා වසරකට දෙකකට හෝ වසර දහයකට දොළහකට සීමා විය යුතු දෙයක් නොවෙයි. කේන්දර තුල තිබෙන නොගැළපීම් විවාහයට පසුදාම ඉස්මතුවන අවස්ථාත් තියෙනවා. විවාහ වූ දා මධුසමයේදීම සියල්ල අවසන් වන අවස්ථා ගැනත් අහන්න ලැබෙනවා.
  කේන්දරයක තුන් වැනි භාවය සහ නව වැනි භාවය සසර සම්බන්ධතා සහ සසර පුරුදු ගැන තොරතුරු හෙළි කරනවා. විවාහය හා සහකරු, සහකාරිය සම්බන්ධ ග්‍රහයෝ මෙම ස්ථාන දෙක සමග සම්බන්ධ වන ආකාරය හොඳින් පරික්ෂාකර බැලිය යුතුයි. හත් වැනි භාවය, තුන් වැනි හා නව වැනි භාවය අතර සම්බන්ධයක් පවතින්නේ නම් සසර පුරුදු සහකරුවෙක් හෝ සහකාරියක් හිමි වෙනවා. මෙම ස්ථාන තුන අතර පවතින සම්බන්ධයට දොළොස් වැනි භාවයත්  සම්බන්ධ වනවා නම් දෙදෙනාගේ සම්බන්ධය ඊළඟ භවය තෙක් ම ගමන් කරනවා.
    දෙදෙනෙක් ඔවුනොවුන් කෙරෙහි මොන තරම් ආකර්ෂණය වුණත් ඒ ආකර්ෂණය අතරමග දී බිඳ වැටෙන්න පුළුවන්. එක දවසක් වත් නොදැක ඉන්න බැරි විදියට ආදරයෙන් බැඳෙන අයත් කාලෙක දි වෙන්වෙන අවස්ථා තියෙනවා. විවාහයට දෙන්නෙක් ගේ ගැළපීම පරීක්ෂා කරන කොට වඩාත් සැළකිලිමත් විය යුත්තේ මේ හින්දයි. දෙදෙනාගේ බැඳීම ජීවිතය පුරා පවතී දැයි අනිවාර්යයෙන්ම බැලිය යුතුයි.
    සමහරු ටික කාලයක් වෙන් වෙලා ඉඳලා නැවත එකතු වෙනවා. විවාහය බිඳ වැටෙන්නේ නෑ. තාවකාලිකව වෙන් වෙනවා. " මම නම් හිතුවේ විවාහය එතනින් ඉවරයි කියලා...හිතුවෙත් නැති විදියට එයා ආපහු මා ළඟට ආවා...දැන් අපි හිටියටත් වඩා ආදරෙන් ඉන්නවා." ඔන්න ඔහොම කියන අයත් ඉන්නවා. විවාහයක් තුල මොන තරම් දේවල් සිද්ද වෙන්න පුළුවන් ද..ඒත් මොන තරම් දේවල් සිදු වීමේ අවදානමක් තිබියදීත් සමහර ජ්‍යොතිෂවේදීන් විසි පොරොන්දම බලනවා විනා එතනින් එහාට මොනවත් බලන්නේ නෑ. දෙදෙනාගේ සසර සම්බන්ධය, අනොන්‍ය ආකර්ෂණය, අකර්ෂණයේ පැවැත්ම, සිතුවිලි අතර සමානකම ආදී වූ බොහෝ සෙයින් වැදගත් කාරණා බොහෝ දෙනෙක් අතපසු කරනවා.
   වරක් වැරදුණා ට පසුව සැළකිලිමත් වන අයත් ඉන්නවා. ඒ අය අත්දැකීම් ඇසුරින් නිවැරදි මාවත සොයා ගන්නවා. කලා ක්ෂේත්‍රයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි කලා කාරියක් ප්‍රථම විවාහයෙන් වෙන් වුණා. මුලදි ජ්‍යොතිෂය තඹේකට මායිම් නොකළ මේ තැනැත්තිය සම්මුඛ සාකච්ඡා වලදි පවා ජ්‍යොතිෂය හෙලා දකිමින් කතා කළා. කේන්දරයෙන් කියැවුණු දේවල් ඒ විදියටම සිද්ද වුණු බව අද මේ තැනැත්තිය පවසනවා. එපමණක් නොවෙයි අද වන විට ජ්‍යොතිෂය පිළිබඳව යම් දැනුමක්ද ලබාගෙන ඒ ඇසුරින් හිතවතුන්ට ද උපදෙස් ලබා දෙනවා.
         ආදරය වගේම වෛරයත් භවයෙන් භවයට ගමන් කරනවා. ආදරය පෙන්වාගෙන වෛරය පිරිමහගන්න තමන් වෙත සමීප වන අයට සමහරු රැවටෙනවා. මේ ආදරයමයි කියලා හිතනවා. විවාහයෙන් පස්සේ ආදරය නොපෙනී ගිහින් වෛරය පේන්න ගන්නවා. සසර පුරුදු ආදරය වගේම සසර පුරුදු වෛරයත් කේන්දර තුලින් හොයාගන්න පුළුවන්.කිරි කැටි දරුවන්ද සමග ජීවිතය නැති කරගත් බිරින්දෑවරු ගැන පුවත් බොහොමයක් මෑත කාලය තුල අසන්නට ලැබුණා. බිරින්දෑවරු විසින් සැමියන් ඝාතනය කළ පුවත්, සැමියන් විසින් බිරින්දෑවරු ඝාතනය කළ පුවත් අනන්ත අසන්නට ලැබෙනවා. මුලදි දෙවිවරු දේවතාවියෝ වගේ ජීවිතයට සමීප වන ඇතැමුන් පසුව යක්ෂයින් යක්ෂණියන් බවට පත්වෙන අවස්ථා සුලභයි. 
       සිත සොරා ගත්තද, අමතක කරන්නට නොහැකි ලෙස හිතට වැදුනද, ඒ පුද්ගලයා තම සාංසාරික සහකරුමයි, සහකාරියමයි සිතා පිළිගන්නට යාම සුබදායක නෑ. ජන්මපත්‍ර ඇසුරින් ලබා ගත යුතු මග පෙන්වීම මෙහිදී විශේෂයෙන් වැදගත් වෙනවා.

           ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
   දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර 

Friday, August 1, 2014

නොගැළපෙන විවාහයක් වුණොත් 
ගොඩක් පාප කර්ම සිද්දවෙන්න පුළුවන්.

                      හයක් හතරක් නොතේරෙන කිරි දරුවො බෝක්කු යට, පාරවල් අයිනෙ, කසළ ගොඩවල් වල ඉඳලා හොයාගන්නවා. මේ තත්වය එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නෑ. දරුවො මහමඟ දමා යන මවුවරුන්ට බොහෝ දෙනා ශාප කරනවා. වැරැද්ද කාගෙද? දරුවො මහමඟ දමා යන අම්මලාගේද? 
            අද රෑ නොවෙනවානම් මොන තරම් හොඳද කියලා හිතන බිරින්දෑවරු මොන තරම් ඉන්නවාද? හෙට එළි වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරන මවුවරු මොන තරම් ඉන්නවාද?
            "මගේ මහත්තයා හවසට ගෙදර එන්නේ තිරිසනෙක් වගේ. එයා ගෙදර එනකොට දරුවො දෙන්නා ඇඳ යට හැංගෙනවා. තාත්තා නින්දට යනකල් දරුවො දෙන්නා එලියට එන්නේ නෑ. ඇයි අපිට තාත්තා ආදරේ නැත්තේ කියලා දරුවො අහනවා.  දරුවන්ටත් මොනවා හරි පොවලා ජීවිතේ නැති කරගන්න හිතෙන වාර අනන්තයි.  ඔබ තුමාට බුදු බව අත්වෙයි..මේ ප්‍රශ්නය ඉක්මනට විසඳලා දෙන්න. "
             ඔය වගේ දුක් විඳින බිරින්දෑවරුන්ගෙන් මොනතරම් දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබෙනවාද. මේ මොහොත වන විටත් මොන තරම් බිරින්දෑවරු ජීවිතය ගැන කළකිරීමෙන් ඇත්ද? යුග දිවියේ ප්‍රශ්ණ හේතුවෙන් දරුණු තීරණ වලට එළඹෙන, දරුණු පාප කාර්ම වලට යොමුවෙන බිරින්දෑවරු, ස්වාමිපුරුෂයින් මොන තරම් ඉන්නවාද? 
             නොගැළපෙන විවාහයක් සිදු කර ගැනීම හේතුවෙන් බොහෝ දෙනෙක් පාප කර්ම  වලට යොමුවෙනවා. නින්දා ලබන තත්වයට පත් වෙනවා. ශාප ලබන තත්වයට පත්වෙනවා. 
                    "මම විවාහ වුණේ වයස 17 දි. මගේ මහත්තයට අපේ ගමේ ලොකු ඉඩමක් තිබුණා. ඉඩම බලන්න එන වෙලාවට වාහනය නතර කරන්නෙ අපේ මිදුලෙ. එයා අපේ අම්මයි තාත්තයි එක්ක ගොඩක් හිතවත් වුණා. මා ගැන අදහසක් තියෙන බව දෙමාපියන්ට කියළ තිබුණා. මේ අපේ පිනට ලැබුණු මහත්තයෙක් ඔයා එයාට කැමතිවෙන්න කියළා අම්මයි තාත්තයි කිව්වා. මම බැඳලා ගිහින් ටික දවසකට පස්සේ ගෑණු කෙනෙක් ඇවිත් මට හොඳටම බැන්නා. මහත්තයා වචනයක්වත් කතා කලේ නෑ. මම ඇඳුම් ටිකත් අරගෙන ගෙදර ආවා."
      තමන්ගෙ හඳහන බලාගන්නට පැමිණි යුවතියක් පැවසු එක් සත්‍ය කතාවක සාරාංශයක් තමයි ඔය.  දවසින් මිතුරුවී හෝටල් කාමර වලට ගොස් ව්‍යාජ පෙම්වතුන්ට අත කණකර පුජා  කරන යුවතියන් මොන තරම් සිටිනවාද? බොහෝ විදේශ ගත යුවතියන් තමන් මහන්සියෙන් හම්බ කරගන්නා සියල්ල රැවටිලිකාර පෙම්වතුන්ට දී සුසුම් හෙළනවා. ඇතැම් දෙනා එවැනි සිදුවීම් හේතුවෙන් සිය දිවි නසාගැනීමට පෙළඹෙනවා. තවත් අය එතැන් පටන්            අනාචාරයට යොමු වෙනවා. ගැබ් ගැනීමක් සිදුවුවහොත් ගබ්සා කරගැනීමට පෙළඹෙනවා.
            බිරිඳගේ හෝ ස්වාමි පුරුෂයාගේ දැඩි බලකිරීම මත තම ආදරණිය මව් පියන් මහළු නිවාස තුළ තනි කරන්නටත් ඇතැම් අයට සිදුවෙනවා. "එක්කෝ ඔයා මාව තෝරාගන්න නැත්නම් අම්මත් එක්කම ඉන්න. මම කියන දේ කරන්න බැරිනම් මම යනවා යන්න. " ඔය වගේ දරුණු ප්‍රකාශ හමුවේ නම්‍යශීලීවන අය නැත්තේම නෑ.  
            මව් පියන්ගේ අඬ දබර හේතුවෙන් මානසිකව ඇද වැටෙන, අනාචාරයට යොමුවන, වැරදි සම්බන්ධතා වල පැටලෙන දරුවන් මොන තරම් සිටිනවාද? හව් හරණක් නැති දැරියන් මොන තරම් දෙනෙක් සල්ලාලයින්ට බිලි වෙනවාද? තිරිසන් ගති ඇති පියවරු අතින් අතවරයට ලක්වන දැරියන් ගැන මොනතරම් පුවත් අසන්නට ලැබෙනවාද?  
                          "මම හඳහන විශ්වාස කළේම  නෑ. ගොඩක් දෙනෙක් කිව්වා එයාට තව සම්බන්ධතා තියෙනව කියළා. කව්රුත් කියන දේවල් මම ඇහුවෙ නෑ. මම විශ්වාස කළේ එයා කියපු දේවල් විතරයි. දැන් ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. දැන් මට අම්මට තාත්තටවත් මුහුණ දෙන්න බෑ. මට මෙතනින් එහාට මොනවා වෙයිද කියළා කියල දෙන්න පුළුවන්ද?"
      කිසිම දෙයක් ගැන විශ්වාසය නොතබා ආදරයෙන් අන්ධවී අමාරුවේ වැටුණු සමහරු ඔහොමත් කියනවා.
බල්ලාගේ වලිගය උණ පුරුකේ දැම්මත් ඇද අරින්න බෑ කියළා කතාවක් තියෙනවා. ඒ වගේම තමයි කළු කෙනෙක් සුදු කරන්න, සුදු කෙනෙක් කළු කරන්න පුළුවන් ක්‍රමයක් නෑ. කිසිම දවසක වෙනස් වෙන්නේ නැති සංසාරික ගති ලක්ෂණ උරුම කරගත් අය ඉන්නවා. සමහරුන්ට එක්කෙනෙක්ගෙන්  සෑහීමකට  පත්වෙන්න බෑ. සමහරුන්ගේ හිත යන්නේ පොඩි ළමයින්ට මයි. සමහර පිරිමි ඉන්නවා පිරිමින්ටම තමයි කැමති. සමහරුන්ට සාමය සමගිය  අරහං. තවත් අය වයසක අය පස්සෙ යනවා. සමහරුන්ට තියෙන්නේ අසාමාන්‍ය ආශාවන්. ඔන්න ඔය වගේ අය එක්ක යුග ජීවිතයක් ගත කරන්න ගියොත් මහා පාප කර්ම සිද්දවෙන්නත් පුළුවන්.
       ආදරය පෙන්නලා, කාරුණික වෙලා, නම්‍යශීලී වෙලා හදාගන්න පුළුවන් අය වගේම මොන විදියකින්වත් හදාගන්න බැරි අයත් ඉන්නවා. ඒ වගේ කෙනෙක් එක්ක විවාහ වුණොත් පව්කාර ජීවිතයක් උරුමවෙන්න පුළුවන්.  

               ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
    දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර